Sunday, February 18, 2018

දෙවන කොටස

මම මූණ කට හෝදගෙන කුස්සිය පැත්තට යන්න හැරුනා. මැද මිදුල වටේට තියෙන කොරිඩෝව දිගේ මම අම්මගේ කටහඩ ඇහුණු පැත්තට ගියා. මැද මිදුලෙත් මීවන පඳුරුත් නොයෙක් පැළ වර්ග වවලා. ඉඩ තියෙන හරියේ බොරළුයි සුදු වැලියි කවලමේ. හොඳට ඉර එළිය වැටෙන නිසාත් වැස්ස ලැබෙන නිසාත් ගස් ටික සරුවට වැවිලා. මම කුස්සිය පැත්තට යද්දී අම්මා බංකුවක වාඩි වෙලා කොස් සුද්ද කරනවා තව ගැහැණු කෙනෙක් එක්ක. එකත් එක්කටම අහල පහළ ගෑණු කෙනෙක් වෙන්න ඇති අම්මගේ උදව්වට එන. දෙන්නා බර කතාවක්. මම හෙමිහිට අම්මගේ පිටි පස්සෙන් ගිහිං අම්මව බදා ගත්තා.
ආහ්.. ඉලන්දාරියා ඇහැරුණා ද ? අම්මා ඇහුවා..
“හ්ම්...” මම තවත් අම්මට තුරුල් වෙන ගමන් කිව්වා.
“ ඉලන්දාරියෙක් වෙලා රට රටවල් වල ගියාට තාම හුරතලේ අඩු වෙලා නෑ නේද නෝනා..” අර ගෑණු කෙනා කිව්වා. “අපොයි ඔව්..” අම්මා උත්තර දුන්නේ සතුටින් මගේ දිහා හොරෙන් බල බල.
මම අම්මා ගාවින් කොස් මදුලක් ගන්න ගමන් ඒ ගෑණු කෙනා දිහා හොදට බැලුවා.
කොළ පාට රෙද්දේ කහ පාට මල් වැටුණු චීත්තයයි, ඒකට ගැලපෙන කහ පාට හැට්ටයක් ඇඳලා කොන්ඩේ හොඳට තෙල් ගාලා පිටිපස්සට කරලා ගෙඩියක් ගහලා. ඇඳුම් වල අලුත් බවක් නැති උනත් පිරිසිදුව පිළිවෙලට ඉන්න කෙනෙක් කියලා බැලු බැල්මටම පේනවා. ලස්සන හිනාවක් එක්ක පැහැපත් පෙනුමක් තිබුණත් ගොඩක් දුක් විඳලා තියෙනවා වගේ මුහුණෙන් පේනවා. ඒත් මොකද්දෝ සුන්දරත්වයක් ඒ ගැහැණු කෙනාගෙන් මම දැක්කා. එක පාරටම මට මතක් උනේ ගම්පෙරළියේ නන්දාව.
“අන්න කෑම මේසෙට ඇරලා තියෙන්නේ. බෙදාගෙන කන්න.” අම්මගේ කට හඬින් මම කල්පනා ලෝකයෙන් මිදුණා. මම කෑම එකත් අරන් ස්තෝප්පුව පැත්තට ගියා. ගිහිල්ලා වාඩි වෙන්න හදනකොටම මම දැක්කා මිදුලේ තියෙන බංකුවක අක්කා වාඩි වෙලා පොතක් කියනවා. මමත් දෙපාරක් හිතන්නේ නැතුව අක්කා ගාවට ගිහිං වාඩි උනා. එතන ලොකු අඹ ගහක් තියෙන නිසා හොඳට හෙවණයි. ලොකු වැස්සකට උනත් බය නැතුව ඉන්න පුළුවන්. ඒ හරියේ තණකොළ වවලා නිසා දූවිලිත් නැහැ.

“ආහ්.. නැගිට්ටද ? ” අක්කා ඇහුවා.
“හ්ම්..” කියලා කන්න පටන් ගත්තා.
“අද නිවාඩු ද ? මේ මොකද දැන් වෙඩින් එකේ තත්වේ. ” මම අක්කා ගෙන් ඇහුවේ ලොකු කතාවකට මුල පුරණ ගමන්. “කරන් යනවා ඉතින්. මම බයේ හිටියේ ඔක්කොම තනියම කරගන්න වෙයි කියලා. දැන් ඔයත් ඉන්නවා නේ මගේ උදව්වට. ඒ නිසා බයක් නෑ.” “කියන්නකෝ ඉතින් මගේ මස්සිනාගේ පොඩ්ඩාගේ විස්තර ටිකක්. තමුසේ වගේම ඇණයක් ද ? ” මම ඇහුවේ මූණ ඇඹුල් කරගෙන. අක්කට හිනා ගියා.
“මම වගේ නම් නෙවෙයි. ගොඩක්ම ඔයා වගේ. නිවිච්ච මනුස්සයෙක්.ඔයාටත් වඩා ගොඩාක් නිශ්ශබ්දයි. තාත්තා උනත් කැමති උනේ ඒකයි මං හිතන්නේ. ටිකක් විහිළු කරනවා අඩුයි. ඒත් රසවිදින්න දන්නවා. ඉතින් මම හිතුවා එයා මට ගැළපෙයි කියලා. ” “හ්ම්.. කොහොමද හම්බ උනේ ? කැම්පස් එකේදීද ?” මම පපඩමක් කටට දාගන්න ගමන් ඇහුවා. “ඔව්. අපේ බැච් එකේ අය එකතු වෙලා දුප්පත් ළමයින්ට පොත් අරන් දෙන වැඩසටහනක් කරා. ඒකෙදි තමයි මුණ ගැහුණේ. එයා අපිට වඩා සීනියර්.”
“හ්ම්.. මේ පැත්ත ගැන මොකද හිතන්නේ. හොඳයිද ?”
“අම්මෝ කොළඹට වඩා නම් දහස් වාරයක් හොඳයි. සද්ද බද්ද නෑ. මිනිස්සුත් හරිම හොඳයි. කුහක ගති හරිම අඩුයි. හරිම හිතවත් ඕනේ එක්කෙනෙක් ට. ඔයත් ටිකක් වට පිටාවේ ඇවිදලා බලන්නකෝ. ඔයාටම තේරෙයි වෙනස.”
ඒ බව නම් මටත් මේ වෙන කොට සක් සුදක් සේ පැහැදිලි වෙලයි තිබුණේ. එද්දී දැකපු වෙල් යායයි මැටි පාරවල් ටිකයි මට දැනුත් මැවිලා පේනවා. ඒ පැත්තට මේ දැන් දුවලා යන්න හිතෙනවා.මගදී දැකපු මිනිස්සුන්ගෙත් හිනා කටයි. බුලත් කෙල කාහටත් එක්ක හිනා වෙද්දී අමුතුම සුන්දරත්වයක් තිබුණා. ඒ හැම දෙයින්ම කියන්නේ ඒ මිනිස්සුන්ගේ ගැමිකම.
“මේ ඒක නෙවෙයි කව්ද අර කුස්සියේ ඉන්න ආන්ටි. ගමේ කෙනෙක් ද ?” ගැමිකම කියනකොටම මට මතක් උනා.
“කව්ද ? සීලා නැන්ද ද?”
“මම දන්නේ නෑ හලෝ මොන නැන්දද කියලා. කුස්සියේ හිටියේ.”
“ආ.. ඔව්. මේ පහළ ගෙදරක මනුස්සයෙක්. මහත්තයා නැති උනාම ළමයි දෙන්නා හදාගන්න ගෙවල් වල වැඩට ගිහින්. අපේ ගෙදර දිගටම එන්න කියල අම්මා කියලා. දැන් දිගටම මෙහේ. හරිම හොඳ ගෑණු කෙනෙක්. හරිම පිළිවෙලයි වැඩ. ළමයි දෙන්නත් දක්ෂයි. ගෑණු ළමය දැක්කොත් නම් ඔයා පිස්සු වැටෙයි.”
“අපෝ මේ. අපි කෙල්ලෝ දැකලා නෑ කියලා හිතුවද ? පිස්සු වැටෙන්න. අපේ හොස්ටල් එකේ හිටියා කෙල්ලෝ ටිකක්. අන්න කෙල්ලෝ. අපි කිව්වොත් ඕනේ වෙලාවක ලඟට ගන්න පුළුවන්.”

“අනේ මේ ඔය බොරු මට කිව්වට අම්මට ඇහෙන්න එහෙම කියනවා නෙවෙයි. අම්මගේ පපුව පැලිලා මැරෙයි ඕවා ඇහුනොත්.”
අක්කා තරහෙන් පුපුර පුපුර අම්මා එනවද බලනවා. මගේ පපුවෙත් බිත්තර 10 ක් විතර තම්බ තම්බ තමයි පණ්ඩිතකම් කියෙව්වේ. අම්මට ඇහුණා නම් යන්න වෙනවා ආයේ හිටපු තැනටම.

“මේ පණ්ඩිත කම් කියවන්නේ නැතුව බත් ටික කාලා ලේස්ති වෙනවා පන්සල් යන්න. අප්පච්චි මගින් මගටම කියලා ගියේ ඔයාව පන්සල් එක්ක ගිහින් හමුදුරුවන්ට අඳුන්වලා දෙන්නෙයි කියලා. මං දන්නවා තමුසේ කෙල්ලෙක් දිහා වත් බලන්නේ නැති උපාසකයෙක් කියලා” “ආහ්.. ඒ ඉස්සර.” මම හොරැහින් අක්කා දිහා බැලුවා.
ඇත්තටම කල්පනා කරලා බැලුවොත් අක්කා කියන කතාවත් ඇත්ත. ඒත් කාලෙකට ඉස්සර මමත් එක අතකින් බැලුවොත් සෙල්ලක්කාර කොල්ලෙක්. ඒත් කාලෙකදී ඒ සේරම වෙනස් වුණා. එක අතකට ඒක මගේ වාසනාව වෙන්න ඇති.

-------------------------------------------------------------------

ඒ මචං මචං නැගපන් නැගපන් කෙල්ල බස් එකට නැග්ගා. රන්දිකයා මාවත් පෙරලන් ගිහින් බස් එකට නැග්ගා. මාත් දෙපාරක් හිතුවේ නෑ පිටිපස්සේ දොරෙන් එල්ලුනා.
“මොකද්ද මල්ලී බස් එක අද්දනකන් ඉදලා එල්ලෙන්නේ. එල්ලෙන්න ගිහිං වැටුණාම අපි ඕනේ පොලීසි ගානේ රස්තියාදු වෙන්න” කොන්දා අය්යා බර බරේ දානවා.
“එයා දන්නේ නෑ නේ අපිට තියෙන උවමනාව. නැද්ද බන් ” රන්දික මට ඇහැක් ගැහුවා. මමත් හිනා වෙලා බස් එකේ ඉස්සරහට ඇහැ යැව්වා.
ඉස්කෝල දෙක තුනක ළමයි නැගලා ඉන්න නිසා බස් එකේ තද බදේ ටිකක් වැඩියි. ඈතින් බලද්දී ඔක්කොම එක වගේ. කොච්චර එක වගේ ළමයි හිටියත් මගේ ඇහැ වගේම හිතත් නතර වෙන්නේ එකම තැන. කිචි බිචි ගාන කෙල්ලෝ රංචුව අතරේ මම දකින එකම නිහඩ කෙල්ල. කොන්ඩ කරල් දෙකක් බැදලා, බරට බරේ බෑග් එකත් එල්ලගෙන දැහැනකට සම වැදිලා වගේ අහිංසක විදිහට බස් එකේ වීදුරුවෙන් එළිය බලන් යන දිහායින් ඇස් දෙක වෙන පැත්තකට හරවන්න මට හිතෙන්නෙම නෑ. අනිත් අය හයියෙන් හිනා වෙවී විහිළු කර කර හිටියත් මෙයාට ඒවා ගානක් නෑ වගේ. ඒ තමයි නර්මදා. දහසක් කෙල්ලෝ අතරින් මගේ හිත ගත්තු එකම කෙල්ල.
“උඹ අදත් මනෝ පාර ගහන් හිටපන්. අද අක්කාත් නැති දවසේ ගිහින් අහපන්.” රන්දිකයා මගේ දැහැන බින්දා.
“හරි හරි බන්. ටිකක් හිටපන්කෝ. මං වෙලාවට අහන්නම්.” මං රන්දිකයට සැර දැම්මා.
“අනේ උඹේ වෙලාවට ඇහිල්ල. මං දන්නේ නැද්ද උඹ ගැන. දැන් මාසයක් තිස්සේ උඹත් එක්ක එනවා. මටත් දැන් ඇති වෙලා තියෙන්නේ“. රන්දිකයා නෝක්කාඩු කියනවා.
“හරි හරි බන්. අද බලමුකෝ. ඉවසපන්කෝ ටිකක්. උඹ හොඳ එකා නේ ඉතින්” මං චාටුවක් දැම්මා. මොනා උනත් දුකට සැපට මගේ ළගින්ම ඉන්න මගේ අතිජාත මිත්‍රයා නේ.
අද නම් දෙකින් එකක් බේර ගන්නවා. මම ගිහින් අහන එක අහනවා. ටිකක් සෙනග අඩු වෙනකන් ඉන්න ඕනේ. මම දහිරිය ගත්තා.
ටික වෙලාවකට පස්සේ මම වීරයා වගේ ටිකක් සෙනග බහිනකන් ඉදලා එතනට යන්න හැදුවා. ඒත් කකුල් දෙක ගල් වෙලා වගේ. රන්දිකයා අතින් තල්ලු කරනවා යමන් යමන් කියලා. ඉදපන් බං තල්ලු කරන්නේ නැතුව. මං රන්දිකට රැව්වා. මෙන්න මේකා එක පාරටම මාවත් තල්ලු කරන් රන්දික නර්මදා ගාවට ගිහිං පිටි පස්සෙන් හිටගත්තා. මට හීං දාඩිය දැම්මා. මගේ ගල් වෙලා තිබුන කකුල් දෙකට පණ ආවා. අඩියයි දෙකයි මාත් එතන. මම මිට මොළවලා දුන්නා එකක් රන්දිකයට කෙඳිරි ගෑවෙන්න. හිටපංකෝ කෙල්ල බහිනකන්. මම හිතෙන් බනිනවා ඌට. රන්දික හිනා වේවි මට ඇහැක් ගහනවා. මට හුස්මක් ගන්න උනේ නෑ මේකා කෑ ගැහුවා “මේ නර්මදා.. අනුරුද්ධ ඔයාට කැමතියි ලු. ඔයා මොකද කියන්නේ.”
ඒ පාර නම් තවත් ඉවසුවේ නෑ දුන්නා මිට මොළවලා එකක් රන්දිකයට දුම් පිට වෙන්න.
“ඌ.......යි...”
“මේ මූට පිස්සු නර්මදා.. ඔයා ඕවා ගණන් ගන්න එපා..” මම ගොත ගගහ රන්දිකයට රවන ගමන් කිව්වා.
“ආ... අපරාදේ නර්මදා හිතන් හිටියේ ඇහුවොත් කැමතියි කියන්න.. අපරාදේ..” නර්මදා ගේ එහා පැත්තේ හිටපු දිලිනි පැනලා උත්තර දුන්නා. මම රන්දිකයට දුන්නා වගේම ගුටියක් නර්මදා දිලිනිට දුන්නා.. “මේක යකාගේ වැඩක් නේ මුන් දෙන්නා කතා කරන්නෙත් නෑ. ළග ඉන්න අපි ගුටි කනවා.. මුන් දෙන්නට ඕනේ එකක් කරගන්න කියල අපි අන්න අරහෙට යන් දිලිනි.”
“හා.. හා.. පලයන් පලයන්... අපෝ ලොකු දෙයක්..”
රන්දිකයා රව රව කියලා දිලිනි එක්ක එහාට ගියා. නර්මදා ඒ පැත්ත බල බල හිනා වෙනවා. මට තේරුණා කෙල්ලගෙන් අවුලක් නෑ කියල.

-------------------------------------------------------

“ඒයි.. කොහෙද එක පාරටම හිත නැවතුනේ. හිටපු තැන කෙල්ලෙක් ගාව වත්ද ?” අක්කගේ හඬින් මගේ මනෝ ලෝකය බිඳුනා.
“හ්ම්...” මම බත් කටක් කටට දාන ගමන් කිව්වා.
“විහිළු නෙවෙයි අන්න අම්ම මනමාලියෝ හොයනවා ඔයාට. ළගදීම කොල්ලා අමාරුවේ වැටෙන පාටයි.”
“මේ මට..... ??”
“නැතුව මට ද? ”
“අම්මට පිස්සුද . මට තාම බඳින වයසක් ද ? ඕවට අවොත් නම් මම දමලා ගහලා ආයෙත් කොහේ හරි ඈතකට යනවා. ” මම කිව්වා. “ආ... යනවකෝ බලන්න.” අක්කා එරෙව්වා.
“අම්මා කියන කතාවත් ඇත්තනේ මල්ලි. මමත් ගියාම අම්මට පාළුයි නේ. ඔයත් ආයේ රට යයි කියල අම්ම බය ඇති. ඒකයි ඉක්මනටම බන්දන්න බලන්නේ.” අක්කා ෆුල් සීරියස්.
“අනේ අක්කේ.. වද නොදී ඉන්නකෝ.. මට දැන්ම ඕවා ගැන හිතන්න වුවමනාවක් නෑ.” මම ටිකක් තරහින් වගේ නැගිටලා ගේ ඇතුලට ආවා.
පිඟාන හෝදලා පැත්තකින් තියද්දී ඇහුණා අපේ අම්ම අර නැන්දා එක්ක කියනවා.
“දැන් ඉතින් කව්රු හරි හොඳ කෙනෙක් බලල කසාදයක් කරලා දෙන්න ඕනේ.” “ඔව් නේද නෝනා. දැන් කල වයස හරි නේ. ඕවා කලට වෙලාවට උනේ නැති උනාම ළමයි නරක් වෙනවා.”
මේ මිනිස්සුන්ට පිස්සුද මන්දා. ලංකාවට පය තියල දවසයි, මඟුල් හොයනවා. අනේ මන්දා අමාරුවේ වැටෙන්න මෙච්චර ආස ඇයි මේ මිනිස්සු කියලා. මම හිතින් බැන බැන කාමරේට ගිහින් කියවන්න පොතක් හෙව්වා.

------------------------------------------



Wednesday, September 14, 2016

පළමු කොටස

“නෝනාවරුනි මහත්වරුනි, තව ස්වල්ප වේලාවකින් අපි බණ්ඩාරනායක ජ්‍යාතත්‍යන්තර ගුවන්තොටුපලට ළගා වන්නෙමු. කරුණාකර තම ආසන වලට පැමිණ ආසන පටි සවි කරගන්න.”
“අම්මේ ඇති යන්තම්. තව ටිකයි. හ්ම්ම්ම්....” අනුරුද්ධ දිග සුසුමක් අරිමින් ආයෙත් කල්පනා ලෝකයට වැටුණා.

මම පුංචි කාලෙම ඉදලම අප්පච්චිගේ හිතේ තිබුණු මාව වෛද්‍යවරයෙක් කරන හීනේ හැබෑ කරන්න දුර ඈත රටකට ගිහින් ඒ හීනෙත් හැබෑ කරන් ආයෙත් ලංකාවට එන දවස. ඒ හීනෙ ජයගත්ත ආඩම්බරයත්, ගෙදර අය දැක ගන්න ආසාවත් හිතේ පිරිලා. ඊටත් වඩා වඩා අප්පච්චි අලුතෙන් අරගත්තු ගෙදර බලාගන්න ඉවසිල්ලක් නැහැ. අක්ක එවලා තිබුණු පින්තූර වලින් දැකපු විදිහට නම් බොහොම නිස්කලංක පරිසරයක්. අප්පච්චි දන්නවා මම ගොඩක් නිස්කලංක පරිසරයට කැමතියි කියලා. සමහරවිට මට තෑග්ගක් විදිහට ගත්තද දන්නෙත් නෑ. අප්පච්චිත් විශ්‍රාම ගියාට පස්සේ නිස්කලංක පරිසරයක ඉන්න කැමති ඇති. මොනා උනත් අප්පච්චියි අම්මයි තරම් අක්කයි, මාවයි තේරුම් ගත්ත වෙන කව්රුත් නෑ කියලයි මට නම් හිතෙන්නේ. අක්කත් වෙඩින් එකට ලේස්ති වෙන නිසා ගොඩක් වැඩ ඇති මේ දවස් වල. මට මේ දවස් වල එන්න ලැබුණු එකත් හොදයි එයාට උදව්වට. අම්ම එක එක කෑම හදනවා ඇති මම එන නිසා. අම්මාගේ පොල්සම්බල් එක්ක බත් කාපු කාලයක් මතක නෑ.

------------------------------------------

මාව එක්ක යන්න අප්පච්චි ඇවිත් හිටියා. මහන්සියට මට කාර් එකේ නින්ද ගිහින්. ඇහැරිලා බලනකොට ලස්සන වෙල් යායක් මැද්දෙන් අපි යනවා. මම කාර් එකේ ජනේලේ ඇරලා එලියට ඔළුව දාගත්ත පොඩි එකෙක් වගේ. හීතල හුළග මගේ මූණේ වදිනවා.
“අප්පච්චි කොහෙන්ද මේ වත්ත හොයා ගත්තේ ? ”

“මට මගේ යාළුවෙක් කිව්වේ පුතා. කොළඹ ඉදලා දැන් ඇති වෙලා ජීවිතේ අන්තිම කාලේවත් නිස්කලංක පරිසරයකට වෙලා ඉන්න කියල හිතුවා මම. පුතත් උඩින්ම කැමති වෙනවා කියලා මම දන්නවා නේ..”
“මෙතනින් තමයි පන්සලට යන්නේ. පන්සලත් හරි ලස්සනයි. අක්කත් එක්ක පොඩ්ඩක් ගිහිං බලන්න ඉඩ තියෙන වෙලාවක.”
අප්පච්චි ගමේ විස්තර කියනවා..

මමත් පොඩි ළමයෙක් කවදාවත් ගියපු නැති පැත්තකට ගියා වගේ ආසාවෙන් ඔළුවත් එළියට දාගෙන වට පිට බල බල යනවා.
“මෙන්න අපි අපේ වත්තට දැම්මා. මේ පාරේ කෙලවරේම තමයි අපේ ගෙදර තියෙන්නේ. ඉස්සර මේක බංගලාවක්. ආරච්චි කෙනෙක් එහෙම ඉදලා තියෙනවා. තාම ඒ පරණ විදිහටම තියෙනවා.”

මට ඈතින් පෙනුණා සුදු පාට ගෙයක්. මිදුලේ මැද ගස් වවලා වට රවුමක් වගේ. පාරේ සුදු වැලි දාලා. බැලු බැල්මටම පරණ වලව්වක් කියලා පේනවා. මිදුලේ මැද තියෙන ගස් වටෙන් ගිහින් පෝටිකෝවට කාර් එක දාන්න ඕනේ. කළු පාට සිමෙන්ති බිමයි, ස්තෝප්පුව මැද තියෙන රවුම් කළුවර ටීපෝවයි, ඒක උඩ තියලා තියෙන බුලත් හෙප්පුවයි ගෙදරට ගාම්භීර බවක් ගෙනත්. ස්තෝප්පුවෙ සාලෙට තියෙන ජනේල වලින් ගේ ඇතුලට හොදට හුළං හමනවා ඇති. “හිතුවට වඩා ගේ ලොකුයි නේ අප්පච්චි.” මම කිව්වේ එක බැල්මෙන්ම සේරම වට පිටාව බලාගන්න උත්සහ කරන ගමන්.
“ඔව්. පුතා පරණ ගෙවල් නේ. අනික ඒ කාලේ යමක් කමක් තිව්න මිනිස්සු හොද සුව පහසුවට ගෙවල් හදනවා. අනික දැන් තියෙන අලුත් ගෙවල් වගේ නෙවෙයි හොදට වාතාශ්‍රයත් ඇතුලට යන විදිහට තමයි හදල තියෙන්නේ. ඇතුලට ගිහින් බලන්නකෝ කොහොමද කියලා”
“අම්මේ අන්න මල්ලිලා ආවා..” කියලා කෑ ගහගෙන අක්කා දුවගෙන ඇවිත් මාව බදාගත්තා.
“ඔය මම කිව්වේ පුතා එනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ. හැබැයි මම කිය කිය හිටියේ දෙන්න එක්ක රණ්ඩු එහෙම අල්ලන්න ලේස්ති වෙන්න එපා කියලා..” අප්පච්චි කාර් එකෙන් බෑග් ටික ගන්න ගමන් කිව්වා.
“ආ.. මෙයා එක්ක රණ්ඩු අල්ලන්නේ නැතුව මම වෙන කව්රු එක්ක රණ්ඩු අල්ලන්නද ? ” අක්කා කිව්වේ මගේ බෑග් එක අතට ගන්න ගමන්.
“ඇයි ඔයා යන්න ඉන්න එක්කෙනත් එක්ක අල්ලගන්න මීට පස්සේ මට කරදර කරන්නේ නැතුව. මට සැනසීමේ ඉන්න පුළුවන් ඔයා ගියාම.”
“අනේ යනවා. බලන්නකෝ අම්මා..”
“හා හා.. ගෙදරට අඩියක් තියන්න උනේ නෑ පටන් ගත්තා රණ්ඩුව. ඔයාටත් ඉන්න බෑ නේ දුව..”
“හ්ම්.. අම්මටත් හැමතිස්සෙම වැරදි මම තමයි.” අක්කා මූණ පුම්බ ගත්තා. මට හිනා.
මම අම්මගේ කකුල් දෙක අල්ලලා වැන්දේ ආයෙත් නම් කොහේ වත් යන්නේ නෑ කියලා හිතාගෙන. එක සැරේටම අම්මාගෙන් හාදු වැස්සයි..
“පුතා ඇදිලා ගිහිල්ලා. ඉන්න මම ටක් ගාලා කෑම ටික ලේස්ති කරලා ගන්නම්.”
“ඔය මම කිව්වේ මල්ලි ආපු ගමන් අම්ම කවන්න හදයි කියලා. අම්මා දැන් සතියක විතර ඉදන් තමයි ඔය කෑම ලේස්ති කරන්නේ පොඩි පුතාට. ෂික්. මමත් කොහේ හරි ගිහිං ඉදලා එන්න ඕනේ. මටත් ඔය වගේ සලකනවද බලන්න” අක්කා මූණ නරක් කරගෙන කියනවා.
අපි ඔක්කොටම ඒ පාර නම් හිනා ගියා ඒක කියපු විදිහට. අම්මා හිනාව අතරින් රවනවා අක්කට. මම කොහොම මේ අය නැතුව හිටියද කියලා මටම හිතා ගන්න බෑ. මුළු ලෝකෙම ගෙදර තරම් හොද තැනක් නෑ.
“පුතා එහෙනම් මුණ කට හෝදගෙන කෑම ටිකක් කාල එහෙම ටිකක් විවේක ගන්නකො. මම කඩේ පැත්තේ ගිහින් එන්නම්. දෙන්නෙක්ම ඉන්නවා නේ දැන් සලකන්න.” අප්පච්චිත් හිනා වේවි මගේ පිටට තට්ටු කරන ගමන් කිව්වා.

මගුල් මේසයක් වගේ අම්මා හදලා තිබුන කෑම කාලා මම මගේ කාමරයට ගියා. හොදටම මහන්සියි. තාම රෑ වෙලා නැති නිසා නිදා ගන්නත් කම්මැලියි. මම එක පළුවක් වැහිලා තියෙන ජනේලේ අනිත් පළුවත් තල්ලු කරා. මට ඈතින් කුඹුරු යායට උඩින් ඉර බැහැගෙන යන හැටි පේනවා. රාස්සිගේ අව්ව වැටිලා ගොයම රත්තරන් පාට වෙලා. ඒ ගොයම හරහා හමාගෙන ආපු සුළඟ මාවත් පෙරලගෙන මගේ කාමරයට ඇතුල් උනේ පුදුම වේගයෙන්. ඒ හුළං පාරට මගේ මහන්සියත් ගහගෙන ගියා වගේ මට දැනුණා. ඉස්සර කොළඹ ඉද්දි මේවගේ දේවල් කියෙව්වේ කතා පොත් වලින්. ඒත් දැන් ඒවා මගේ දෑතින්ම ස්පර්ශ කරන්න මට පුළුවන් වෙලා. අප්පච්චි පොඩි කාලේ ඉදන්ම අපි ගැන ගත්තු හැම තීරණයක්ම හරි වගේම මේ වගේ නිස්කලංක පරිසරයකට එන්න ගත්තු තීරණයත් හරියටම හරි බව මට තේරුණා.

--------------------------------------
“ඒයි.. නැගිටනවා නැගිටනවා.. හොදටම දවල් වෙලා..” කාලෙකට පස්සේ උදේ පාන්දර අක්කගේ ඇඩියාව ඇහුණා.
මට මේ කටහඩ නැතුව අවුරුදු ගානක් පාළුවෙන් හිටියේ. මට ඇහැ අරින්න කම්මැලි උනත් මට අක්කව පැනල බදාගන්න තරම් ආදරයක් හිතුණා අද නම්. ඒත් මං ඒ බවක් පෙන්නුවේ නෑ.
“මොකද හලෝ. උදේ පාන්දර වද දෙන්නේ නැතුව යනවකෝ.. අපිට ටිකක් නිදා ගන්න දීලා.”
“උදේ පාන්දර ? 10 ත් පහු වෙලා දැන්. නිදා ගත්තා මදිද. අන්න අම්මා කතා කරනවා කන්න දෙන්න සු..දු.. පුතාට.හිහ්”. අක්කා ඇදලා පැදලා කිව්වා..
මම කොට්ටයක් අරන් අක්කට දමලා ගැහුවා. “අම්මේ මෙන්න මට ගහනවා ” කියලා කෑ ගහගෙන අක්කා කාමරෙන් එළියට දිව්වා.
මම ඇදෙන් නැගිට්ටේ හිනා වේවි. ආයෙත් මගේ පවුලත් එක්ක මට ඉන්න ලැබුණට දෙවියන්ට ස්තුතියි.
------------------------------------------