“නෝනාවරුනි මහත්වරුනි, තව ස්වල්ප වේලාවකින් අපි බණ්ඩාරනායක ජ්යාතත්යන්තර ගුවන්තොටුපලට ළගා වන්නෙමු. කරුණාකර තම ආසන වලට පැමිණ ආසන පටි සවි කරගන්න.”
“අම්මේ ඇති යන්තම්. තව ටිකයි. හ්ම්ම්ම්....” අනුරුද්ධ දිග සුසුමක් අරිමින් ආයෙත් කල්පනා ලෝකයට වැටුණා.
මම පුංචි කාලෙම ඉදලම අප්පච්චිගේ හිතේ තිබුණු මාව වෛද්‍යවරයෙක් කරන හීනේ හැබෑ කරන්න දුර ඈත රටකට ගිහින් ඒ හීනෙත් හැබෑ කරන් ආයෙත් ලංකාවට එන දවස. ඒ හීනෙ ජයගත්ත ආඩම්බරයත්, ගෙදර අය දැක ගන්න ආසාවත් හිතේ පිරිලා. ඊටත් වඩා වඩා අප්පච්චි අලුතෙන් අරගත්තු ගෙදර බලාගන්න ඉවසිල්ලක් නැහැ. අක්ක එවලා තිබුණු පින්තූර වලින් දැකපු විදිහට නම් බොහොම නිස්කලංක පරිසරයක්. අප්පච්චි දන්නවා මම ගොඩක් නිස්කලංක පරිසරයට කැමතියි කියලා. සමහරවිට මට තෑග්ගක් විදිහට ගත්තද දන්නෙත් නෑ. අප්පච්චිත් විශ්‍රාම ගියාට පස්සේ නිස්කලංක පරිසරයක ඉන්න කැමති ඇති. මොනා උනත් අප්පච්චියි අම්මයි තරම් අක්කයි, මාවයි තේරුම් ගත්ත වෙන කව්රුත් නෑ කියලයි මට නම් හිතෙන්නේ. අක්කත් වෙඩින් එකට ලේස්ති වෙන නිසා ගොඩක් වැඩ ඇති මේ දවස් වල. මට මේ දවස් වල එන්න ලැබුණු එකත් හොදයි එයාට උදව්වට. අම්ම එක එක කෑම හදනවා ඇති මම එන නිසා. අම්මාගේ පොල්සම්බල් එක්ක බත් කාපු කාලයක් මතක නෑ.
මාව එක්ක යන්න අප්පච්චි ඇවිත් හිටියා. මහන්සියට මට කාර් එකේ නින්ද ගිහින්. ඇහැරිලා බලනකොට ලස්සන වෙල් යායක් මැද්දෙන් අපි යනවා. මම කාර් එකේ ජනේලේ ඇරලා එලියට ඔළුව දාගත්ත පොඩි එකෙක් වගේ. හීතල හුළග මගේ මූණේ වදිනවා.
“අප්පච්චි කොහෙන්ද මේ වත්ත හොයා ගත්තේ ? ”
“මට මගේ යාළුවෙක් කිව්වේ පුතා. කොළඹ ඉදලා දැන් ඇති වෙලා ජීවිතේ අන්තිම කාලේවත් නිස්කලංක පරිසරයකට වෙලා ඉන්න කියල හිතුවා මම. පුතත් උඩින්ම කැමති වෙනවා කියලා මම දන්නවා නේ..”
“මෙතනින් තමයි පන්සලට යන්නේ. පන්සලත් හරි ලස්සනයි. අක්කත් එක්ක පොඩ්ඩක් ගිහිං බලන්න ඉඩ තියෙන වෙලාවක.”
අප්පච්චි ගමේ විස්තර කියනවා..
මමත් පොඩි ළමයෙක් කවදාවත් ගියපු නැති පැත්තකට ගියා වගේ ආසාවෙන් ඔළුවත් එළියට දාගෙන වට පිට බල බල යනවා.
“මෙන්න අපි අපේ වත්තට දැම්මා. මේ පාරේ කෙලවරේම තමයි අපේ ගෙදර තියෙන්නේ. ඉස්සර මේක බංගලාවක්. ආරච්චි කෙනෙක් එහෙම ඉදලා තියෙනවා. තාම ඒ පරණ විදිහටම තියෙනවා.”
මට ඈතින් පෙනුණා සුදු පාට ගෙයක්. මිදුලේ මැද ගස් වවලා වට රවුමක් වගේ. පාරේ සුදු වැලි දාලා. බැලු බැල්මටම පරණ වලව්වක් කියලා පේනවා. මිදුලේ මැද තියෙන ගස් වටෙන් ගිහින් පෝටිකෝවට කාර් එක දාන්න ඕනේ. කළු පාට සිමෙන්ති බිමයි, ස්තෝප්පුව මැද තියෙන රවුම් කළුවර ටීපෝවයි, ඒක උඩ තියලා තියෙන බුලත් හෙප්පුවයි ගෙදරට ගාම්භීර බවක් ගෙනත්. ස්තෝප්පුවෙ සාලෙට තියෙන ජනේල වලින් ගේ ඇතුලට හොදට හුළං හමනවා ඇති.
“හිතුවට වඩා ගේ ලොකුයි නේ අප්පච්චි.” මම කිව්වේ එක බැල්මෙන්ම සේරම වට පිටාව බලාගන්න උත්සහ කරන ගමන්.
“ඔව්. පුතා පරණ ගෙවල් නේ. අනික ඒ කාලේ යමක් කමක් තිව්න මිනිස්සු හොද සුව පහසුවට ගෙවල් හදනවා. අනික දැන් තියෙන අලුත් ගෙවල් වගේ නෙවෙයි හොදට වාතාශ්‍රයත් ඇතුලට යන විදිහට තමයි හදල තියෙන්නේ. ඇතුලට ගිහින් බලන්නකෝ කොහොමද කියලා”
“අම්මේ අන්න මල්ලිලා ආවා..” කියලා කෑ ගහගෙන අක්කා දුවගෙන ඇවිත් මාව බදාගත්තා.
“ඔය මම කිව්වේ පුතා එනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ. හැබැයි මම කිය කිය හිටියේ දෙන්න එක්ක රණ්ඩු එහෙම අල්ලන්න ලේස්ති වෙන්න එපා කියලා..” අප්පච්චි කාර් එකෙන් බෑග් ටික ගන්න ගමන් කිව්වා.
“ආ.. මෙයා එක්ක රණ්ඩු අල්ලන්නේ නැතුව මම වෙන කව්රු එක්ක රණ්ඩු අල්ලන්නද ? ” අක්කා කිව්වේ මගේ බෑග් එක අතට ගන්න ගමන්.
“ඇයි ඔයා යන්න ඉන්න එක්කෙනත් එක්ක අල්ලගන්න මීට පස්සේ මට කරදර කරන්නේ නැතුව. මට සැනසීමේ ඉන්න පුළුවන් ඔයා ගියාම.”
“අනේ යනවා. බලන්නකෝ අම්මා..”
“හා හා.. ගෙදරට අඩියක් තියන්න උනේ නෑ පටන් ගත්තා රණ්ඩුව. ඔයාටත් ඉන්න බෑ නේ දුව..”
“හ්ම්.. අම්මටත් හැමතිස්සෙම වැරදි මම තමයි.” අක්කා මූණ පුම්බ ගත්තා. මට හිනා.
මම අම්මගේ කකුල් දෙක අල්ලලා වැන්දේ ආයෙත් නම් කොහේ වත් යන්නේ නෑ කියලා හිතාගෙන. එක සැරේටම අම්මාගෙන් හාදු වැස්සයි..
“පුතා ඇදිලා ගිහිල්ලා. ඉන්න මම ටක් ගාලා කෑම ටික ලේස්ති කරලා ගන්නම්.”
“ඔය මම කිව්වේ මල්ලි ආපු ගමන් අම්ම කවන්න හදයි කියලා. අම්මා දැන් සතියක විතර ඉදන් තමයි ඔය කෑම ලේස්ති කරන්නේ පොඩි පුතාට. ෂික්. මමත් කොහේ හරි ගිහිං ඉදලා එන්න ඕනේ. මටත් ඔය වගේ සලකනවද බලන්න” අක්කා මූණ නරක් කරගෙන කියනවා.
අපි ඔක්කොටම ඒ පාර නම් හිනා ගියා ඒක කියපු විදිහට. අම්මා හිනාව අතරින් රවනවා අක්කට. මම කොහොම මේ අය නැතුව හිටියද කියලා මටම හිතා ගන්න බෑ. මුළු ලෝකෙම ගෙදර තරම් හොද තැනක් නෑ.
“පුතා එහෙනම් මුණ කට හෝදගෙන කෑම ටිකක් කාල එහෙම ටිකක් විවේක ගන්නකො. මම කඩේ පැත්තේ ගිහින් එන්නම්. දෙන්නෙක්ම ඉන්නවා නේ දැන් සලකන්න.” අප්පච්චිත් හිනා වේවි මගේ පිටට තට්ටු කරන ගමන් කිව්වා.
මගුල් මේසයක් වගේ අම්මා හදලා තිබුන කෑම කාලා මම මගේ කාමරයට ගියා. හොදටම මහන්සියි. තාම රෑ වෙලා නැති නිසා නිදා ගන්නත් කම්මැලියි. මම එක පළුවක් වැහිලා තියෙන ජනේලේ අනිත් පළුවත් තල්ලු කරා. මට ඈතින් කුඹුරු යායට උඩින් ඉර බැහැගෙන යන හැටි පේනවා. රාස්සිගේ අව්ව වැටිලා ගොයම රත්තරන් පාට වෙලා. ඒ ගොයම හරහා හමාගෙන ආපු සුළඟ මාවත් පෙරලගෙන මගේ කාමරයට ඇතුල් උනේ පුදුම වේගයෙන්. ඒ හුළං පාරට මගේ මහන්සියත් ගහගෙන ගියා වගේ මට දැනුණා. ඉස්සර කොළඹ ඉද්දි මේවගේ දේවල් කියෙව්වේ කතා පොත් වලින්. ඒත් දැන් ඒවා මගේ දෑතින්ම ස්පර්ශ කරන්න මට පුළුවන් වෙලා. අප්පච්චි පොඩි කාලේ ඉදන්ම අපි ගැන ගත්තු හැම තීරණයක්ම හරි වගේම මේ වගේ නිස්කලංක පරිසරයකට එන්න ගත්තු තීරණයත් හරියටම හරි බව මට තේරුණා.
--------------------------------------
“ඒයි.. නැගිටනවා නැගිටනවා.. හොදටම දවල් වෙලා..” කාලෙකට පස්සේ උදේ පාන්දර අක්කගේ ඇඩියාව ඇහුණා.
මට මේ කටහඩ නැතුව අවුරුදු ගානක් පාළුවෙන් හිටියේ. මට ඇහැ අරින්න කම්මැලි උනත් මට අක්කව පැනල බදාගන්න තරම් ආදරයක් හිතුණා අද නම්. ඒත් මං ඒ බවක් පෙන්නුවේ නෑ.
“මොකද හලෝ. උදේ පාන්දර වද දෙන්නේ නැතුව යනවකෝ.. අපිට ටිකක් නිදා ගන්න දීලා.”
“උදේ පාන්දර ? 10 ත් පහු වෙලා දැන්. නිදා ගත්තා මදිද. අන්න අම්මා කතා කරනවා කන්න දෙන්න සු..දු.. පුතාට.හිහ්”. අක්කා ඇදලා පැදලා කිව්වා..
මම කොට්ටයක් අරන් අක්කට දමලා ගැහුවා. “අම්මේ මෙන්න මට ගහනවා ” කියලා කෑ ගහගෙන අක්කා කාමරෙන් එළියට දිව්වා.
මම ඇදෙන් නැගිට්ටේ හිනා වේවි. ආයෙත් මගේ පවුලත් එක්ක මට ඉන්න ලැබුණට දෙවියන්ට ස්තුතියි.
------------------------------------------