Sunday, February 18, 2018

දෙවන කොටස

මම මූණ කට හෝදගෙන කුස්සිය පැත්තට යන්න හැරුනා. මැද මිදුල වටේට තියෙන කොරිඩෝව දිගේ මම අම්මගේ කටහඩ ඇහුණු පැත්තට ගියා. මැද මිදුලෙත් මීවන පඳුරුත් නොයෙක් පැළ වර්ග වවලා. ඉඩ තියෙන හරියේ බොරළුයි සුදු වැලියි කවලමේ. හොඳට ඉර එළිය වැටෙන නිසාත් වැස්ස ලැබෙන නිසාත් ගස් ටික සරුවට වැවිලා. මම කුස්සිය පැත්තට යද්දී අම්මා බංකුවක වාඩි වෙලා කොස් සුද්ද කරනවා තව ගැහැණු කෙනෙක් එක්ක. එකත් එක්කටම අහල පහළ ගෑණු කෙනෙක් වෙන්න ඇති අම්මගේ උදව්වට එන. දෙන්නා බර කතාවක්. මම හෙමිහිට අම්මගේ පිටි පස්සෙන් ගිහිං අම්මව බදා ගත්තා.
ආහ්.. ඉලන්දාරියා ඇහැරුණා ද ? අම්මා ඇහුවා..
“හ්ම්...” මම තවත් අම්මට තුරුල් වෙන ගමන් කිව්වා.
“ ඉලන්දාරියෙක් වෙලා රට රටවල් වල ගියාට තාම හුරතලේ අඩු වෙලා නෑ නේද නෝනා..” අර ගෑණු කෙනා කිව්වා. “අපොයි ඔව්..” අම්මා උත්තර දුන්නේ සතුටින් මගේ දිහා හොරෙන් බල බල.
මම අම්මා ගාවින් කොස් මදුලක් ගන්න ගමන් ඒ ගෑණු කෙනා දිහා හොදට බැලුවා.
කොළ පාට රෙද්දේ කහ පාට මල් වැටුණු චීත්තයයි, ඒකට ගැලපෙන කහ පාට හැට්ටයක් ඇඳලා කොන්ඩේ හොඳට තෙල් ගාලා පිටිපස්සට කරලා ගෙඩියක් ගහලා. ඇඳුම් වල අලුත් බවක් නැති උනත් පිරිසිදුව පිළිවෙලට ඉන්න කෙනෙක් කියලා බැලු බැල්මටම පේනවා. ලස්සන හිනාවක් එක්ක පැහැපත් පෙනුමක් තිබුණත් ගොඩක් දුක් විඳලා තියෙනවා වගේ මුහුණෙන් පේනවා. ඒත් මොකද්දෝ සුන්දරත්වයක් ඒ ගැහැණු කෙනාගෙන් මම දැක්කා. එක පාරටම මට මතක් උනේ ගම්පෙරළියේ නන්දාව.
“අන්න කෑම මේසෙට ඇරලා තියෙන්නේ. බෙදාගෙන කන්න.” අම්මගේ කට හඬින් මම කල්පනා ලෝකයෙන් මිදුණා. මම කෑම එකත් අරන් ස්තෝප්පුව පැත්තට ගියා. ගිහිල්ලා වාඩි වෙන්න හදනකොටම මම දැක්කා මිදුලේ තියෙන බංකුවක අක්කා වාඩි වෙලා පොතක් කියනවා. මමත් දෙපාරක් හිතන්නේ නැතුව අක්කා ගාවට ගිහිං වාඩි උනා. එතන ලොකු අඹ ගහක් තියෙන නිසා හොඳට හෙවණයි. ලොකු වැස්සකට උනත් බය නැතුව ඉන්න පුළුවන්. ඒ හරියේ තණකොළ වවලා නිසා දූවිලිත් නැහැ.

“ආහ්.. නැගිට්ටද ? ” අක්කා ඇහුවා.
“හ්ම්..” කියලා කන්න පටන් ගත්තා.
“අද නිවාඩු ද ? මේ මොකද දැන් වෙඩින් එකේ තත්වේ. ” මම අක්කා ගෙන් ඇහුවේ ලොකු කතාවකට මුල පුරණ ගමන්. “කරන් යනවා ඉතින්. මම බයේ හිටියේ ඔක්කොම තනියම කරගන්න වෙයි කියලා. දැන් ඔයත් ඉන්නවා නේ මගේ උදව්වට. ඒ නිසා බයක් නෑ.” “කියන්නකෝ ඉතින් මගේ මස්සිනාගේ පොඩ්ඩාගේ විස්තර ටිකක්. තමුසේ වගේම ඇණයක් ද ? ” මම ඇහුවේ මූණ ඇඹුල් කරගෙන. අක්කට හිනා ගියා.
“මම වගේ නම් නෙවෙයි. ගොඩක්ම ඔයා වගේ. නිවිච්ච මනුස්සයෙක්.ඔයාටත් වඩා ගොඩාක් නිශ්ශබ්දයි. තාත්තා උනත් කැමති උනේ ඒකයි මං හිතන්නේ. ටිකක් විහිළු කරනවා අඩුයි. ඒත් රසවිදින්න දන්නවා. ඉතින් මම හිතුවා එයා මට ගැළපෙයි කියලා. ” “හ්ම්.. කොහොමද හම්බ උනේ ? කැම්පස් එකේදීද ?” මම පපඩමක් කටට දාගන්න ගමන් ඇහුවා. “ඔව්. අපේ බැච් එකේ අය එකතු වෙලා දුප්පත් ළමයින්ට පොත් අරන් දෙන වැඩසටහනක් කරා. ඒකෙදි තමයි මුණ ගැහුණේ. එයා අපිට වඩා සීනියර්.”
“හ්ම්.. මේ පැත්ත ගැන මොකද හිතන්නේ. හොඳයිද ?”
“අම්මෝ කොළඹට වඩා නම් දහස් වාරයක් හොඳයි. සද්ද බද්ද නෑ. මිනිස්සුත් හරිම හොඳයි. කුහක ගති හරිම අඩුයි. හරිම හිතවත් ඕනේ එක්කෙනෙක් ට. ඔයත් ටිකක් වට පිටාවේ ඇවිදලා බලන්නකෝ. ඔයාටම තේරෙයි වෙනස.”
ඒ බව නම් මටත් මේ වෙන කොට සක් සුදක් සේ පැහැදිලි වෙලයි තිබුණේ. එද්දී දැකපු වෙල් යායයි මැටි පාරවල් ටිකයි මට දැනුත් මැවිලා පේනවා. ඒ පැත්තට මේ දැන් දුවලා යන්න හිතෙනවා.මගදී දැකපු මිනිස්සුන්ගෙත් හිනා කටයි. බුලත් කෙල කාහටත් එක්ක හිනා වෙද්දී අමුතුම සුන්දරත්වයක් තිබුණා. ඒ හැම දෙයින්ම කියන්නේ ඒ මිනිස්සුන්ගේ ගැමිකම.
“මේ ඒක නෙවෙයි කව්ද අර කුස්සියේ ඉන්න ආන්ටි. ගමේ කෙනෙක් ද ?” ගැමිකම කියනකොටම මට මතක් උනා.
“කව්ද ? සීලා නැන්ද ද?”
“මම දන්නේ නෑ හලෝ මොන නැන්දද කියලා. කුස්සියේ හිටියේ.”
“ආ.. ඔව්. මේ පහළ ගෙදරක මනුස්සයෙක්. මහත්තයා නැති උනාම ළමයි දෙන්නා හදාගන්න ගෙවල් වල වැඩට ගිහින්. අපේ ගෙදර දිගටම එන්න කියල අම්මා කියලා. දැන් දිගටම මෙහේ. හරිම හොඳ ගෑණු කෙනෙක්. හරිම පිළිවෙලයි වැඩ. ළමයි දෙන්නත් දක්ෂයි. ගෑණු ළමය දැක්කොත් නම් ඔයා පිස්සු වැටෙයි.”
“අපෝ මේ. අපි කෙල්ලෝ දැකලා නෑ කියලා හිතුවද ? පිස්සු වැටෙන්න. අපේ හොස්ටල් එකේ හිටියා කෙල්ලෝ ටිකක්. අන්න කෙල්ලෝ. අපි කිව්වොත් ඕනේ වෙලාවක ලඟට ගන්න පුළුවන්.”

“අනේ මේ ඔය බොරු මට කිව්වට අම්මට ඇහෙන්න එහෙම කියනවා නෙවෙයි. අම්මගේ පපුව පැලිලා මැරෙයි ඕවා ඇහුනොත්.”
අක්කා තරහෙන් පුපුර පුපුර අම්මා එනවද බලනවා. මගේ පපුවෙත් බිත්තර 10 ක් විතර තම්බ තම්බ තමයි පණ්ඩිතකම් කියෙව්වේ. අම්මට ඇහුණා නම් යන්න වෙනවා ආයේ හිටපු තැනටම.

“මේ පණ්ඩිත කම් කියවන්නේ නැතුව බත් ටික කාලා ලේස්ති වෙනවා පන්සල් යන්න. අප්පච්චි මගින් මගටම කියලා ගියේ ඔයාව පන්සල් එක්ක ගිහින් හමුදුරුවන්ට අඳුන්වලා දෙන්නෙයි කියලා. මං දන්නවා තමුසේ කෙල්ලෙක් දිහා වත් බලන්නේ නැති උපාසකයෙක් කියලා” “ආහ්.. ඒ ඉස්සර.” මම හොරැහින් අක්කා දිහා බැලුවා.
ඇත්තටම කල්පනා කරලා බැලුවොත් අක්කා කියන කතාවත් ඇත්ත. ඒත් කාලෙකට ඉස්සර මමත් එක අතකින් බැලුවොත් සෙල්ලක්කාර කොල්ලෙක්. ඒත් කාලෙකදී ඒ සේරම වෙනස් වුණා. එක අතකට ඒක මගේ වාසනාව වෙන්න ඇති.

-------------------------------------------------------------------

ඒ මචං මචං නැගපන් නැගපන් කෙල්ල බස් එකට නැග්ගා. රන්දිකයා මාවත් පෙරලන් ගිහින් බස් එකට නැග්ගා. මාත් දෙපාරක් හිතුවේ නෑ පිටිපස්සේ දොරෙන් එල්ලුනා.
“මොකද්ද මල්ලී බස් එක අද්දනකන් ඉදලා එල්ලෙන්නේ. එල්ලෙන්න ගිහිං වැටුණාම අපි ඕනේ පොලීසි ගානේ රස්තියාදු වෙන්න” කොන්දා අය්යා බර බරේ දානවා.
“එයා දන්නේ නෑ නේ අපිට තියෙන උවමනාව. නැද්ද බන් ” රන්දික මට ඇහැක් ගැහුවා. මමත් හිනා වෙලා බස් එකේ ඉස්සරහට ඇහැ යැව්වා.
ඉස්කෝල දෙක තුනක ළමයි නැගලා ඉන්න නිසා බස් එකේ තද බදේ ටිකක් වැඩියි. ඈතින් බලද්දී ඔක්කොම එක වගේ. කොච්චර එක වගේ ළමයි හිටියත් මගේ ඇහැ වගේම හිතත් නතර වෙන්නේ එකම තැන. කිචි බිචි ගාන කෙල්ලෝ රංචුව අතරේ මම දකින එකම නිහඩ කෙල්ල. කොන්ඩ කරල් දෙකක් බැදලා, බරට බරේ බෑග් එකත් එල්ලගෙන දැහැනකට සම වැදිලා වගේ අහිංසක විදිහට බස් එකේ වීදුරුවෙන් එළිය බලන් යන දිහායින් ඇස් දෙක වෙන පැත්තකට හරවන්න මට හිතෙන්නෙම නෑ. අනිත් අය හයියෙන් හිනා වෙවී විහිළු කර කර හිටියත් මෙයාට ඒවා ගානක් නෑ වගේ. ඒ තමයි නර්මදා. දහසක් කෙල්ලෝ අතරින් මගේ හිත ගත්තු එකම කෙල්ල.
“උඹ අදත් මනෝ පාර ගහන් හිටපන්. අද අක්කාත් නැති දවසේ ගිහින් අහපන්.” රන්දිකයා මගේ දැහැන බින්දා.
“හරි හරි බන්. ටිකක් හිටපන්කෝ. මං වෙලාවට අහන්නම්.” මං රන්දිකයට සැර දැම්මා.
“අනේ උඹේ වෙලාවට ඇහිල්ල. මං දන්නේ නැද්ද උඹ ගැන. දැන් මාසයක් තිස්සේ උඹත් එක්ක එනවා. මටත් දැන් ඇති වෙලා තියෙන්නේ“. රන්දිකයා නෝක්කාඩු කියනවා.
“හරි හරි බන්. අද බලමුකෝ. ඉවසපන්කෝ ටිකක්. උඹ හොඳ එකා නේ ඉතින්” මං චාටුවක් දැම්මා. මොනා උනත් දුකට සැපට මගේ ළගින්ම ඉන්න මගේ අතිජාත මිත්‍රයා නේ.
අද නම් දෙකින් එකක් බේර ගන්නවා. මම ගිහින් අහන එක අහනවා. ටිකක් සෙනග අඩු වෙනකන් ඉන්න ඕනේ. මම දහිරිය ගත්තා.
ටික වෙලාවකට පස්සේ මම වීරයා වගේ ටිකක් සෙනග බහිනකන් ඉදලා එතනට යන්න හැදුවා. ඒත් කකුල් දෙක ගල් වෙලා වගේ. රන්දිකයා අතින් තල්ලු කරනවා යමන් යමන් කියලා. ඉදපන් බං තල්ලු කරන්නේ නැතුව. මං රන්දිකට රැව්වා. මෙන්න මේකා එක පාරටම මාවත් තල්ලු කරන් රන්දික නර්මදා ගාවට ගිහිං පිටි පස්සෙන් හිටගත්තා. මට හීං දාඩිය දැම්මා. මගේ ගල් වෙලා තිබුන කකුල් දෙකට පණ ආවා. අඩියයි දෙකයි මාත් එතන. මම මිට මොළවලා දුන්නා එකක් රන්දිකයට කෙඳිරි ගෑවෙන්න. හිටපංකෝ කෙල්ල බහිනකන්. මම හිතෙන් බනිනවා ඌට. රන්දික හිනා වේවි මට ඇහැක් ගහනවා. මට හුස්මක් ගන්න උනේ නෑ මේකා කෑ ගැහුවා “මේ නර්මදා.. අනුරුද්ධ ඔයාට කැමතියි ලු. ඔයා මොකද කියන්නේ.”
ඒ පාර නම් තවත් ඉවසුවේ නෑ දුන්නා මිට මොළවලා එකක් රන්දිකයට දුම් පිට වෙන්න.
“ඌ.......යි...”
“මේ මූට පිස්සු නර්මදා.. ඔයා ඕවා ගණන් ගන්න එපා..” මම ගොත ගගහ රන්දිකයට රවන ගමන් කිව්වා.
“ආ... අපරාදේ නර්මදා හිතන් හිටියේ ඇහුවොත් කැමතියි කියන්න.. අපරාදේ..” නර්මදා ගේ එහා පැත්තේ හිටපු දිලිනි පැනලා උත්තර දුන්නා. මම රන්දිකයට දුන්නා වගේම ගුටියක් නර්මදා දිලිනිට දුන්නා.. “මේක යකාගේ වැඩක් නේ මුන් දෙන්නා කතා කරන්නෙත් නෑ. ළග ඉන්න අපි ගුටි කනවා.. මුන් දෙන්නට ඕනේ එකක් කරගන්න කියල අපි අන්න අරහෙට යන් දිලිනි.”
“හා.. හා.. පලයන් පලයන්... අපෝ ලොකු දෙයක්..”
රන්දිකයා රව රව කියලා දිලිනි එක්ක එහාට ගියා. නර්මදා ඒ පැත්ත බල බල හිනා වෙනවා. මට තේරුණා කෙල්ලගෙන් අවුලක් නෑ කියල.

-------------------------------------------------------

“ඒයි.. කොහෙද එක පාරටම හිත නැවතුනේ. හිටපු තැන කෙල්ලෙක් ගාව වත්ද ?” අක්කගේ හඬින් මගේ මනෝ ලෝකය බිඳුනා.
“හ්ම්...” මම බත් කටක් කටට දාන ගමන් කිව්වා.
“විහිළු නෙවෙයි අන්න අම්ම මනමාලියෝ හොයනවා ඔයාට. ළගදීම කොල්ලා අමාරුවේ වැටෙන පාටයි.”
“මේ මට..... ??”
“නැතුව මට ද? ”
“අම්මට පිස්සුද . මට තාම බඳින වයසක් ද ? ඕවට අවොත් නම් මම දමලා ගහලා ආයෙත් කොහේ හරි ඈතකට යනවා. ” මම කිව්වා. “ආ... යනවකෝ බලන්න.” අක්කා එරෙව්වා.
“අම්මා කියන කතාවත් ඇත්තනේ මල්ලි. මමත් ගියාම අම්මට පාළුයි නේ. ඔයත් ආයේ රට යයි කියල අම්ම බය ඇති. ඒකයි ඉක්මනටම බන්දන්න බලන්නේ.” අක්කා ෆුල් සීරියස්.
“අනේ අක්කේ.. වද නොදී ඉන්නකෝ.. මට දැන්ම ඕවා ගැන හිතන්න වුවමනාවක් නෑ.” මම ටිකක් තරහින් වගේ නැගිටලා ගේ ඇතුලට ආවා.
පිඟාන හෝදලා පැත්තකින් තියද්දී ඇහුණා අපේ අම්ම අර නැන්දා එක්ක කියනවා.
“දැන් ඉතින් කව්රු හරි හොඳ කෙනෙක් බලල කසාදයක් කරලා දෙන්න ඕනේ.” “ඔව් නේද නෝනා. දැන් කල වයස හරි නේ. ඕවා කලට වෙලාවට උනේ නැති උනාම ළමයි නරක් වෙනවා.”
මේ මිනිස්සුන්ට පිස්සුද මන්දා. ලංකාවට පය තියල දවසයි, මඟුල් හොයනවා. අනේ මන්දා අමාරුවේ වැටෙන්න මෙච්චර ආස ඇයි මේ මිනිස්සු කියලා. මම හිතින් බැන බැන කාමරේට ගිහින් කියවන්න පොතක් හෙව්වා.

------------------------------------------